Thursday, February 17, 2011

කතෝලිකයෙක් වූ මාගේ කතෝලික දැක්ම... (දුක වැඩි කමට ලිපිය දිග වැඩි වුණි...)

                 සැම දෙයම බෙදාගන්නට නොව බදාගන්නට නැඹුරුවූ අමුතු රුවිතයකට ලොව තම අත්දැකීමේ පාද තබා අවසන් යුගයකි අපි දැන් මේ පසු කරමින් සිටින්නේ. ප්‍රධාන වශයෙන්ම රූපවාහිනිය, marketing strategies යන ගාම්භීරවූ ලේබලය අලවා, එවන්වූ ආත්මාර්ථයේ හැඟීම් අප සිත් වෙත අපටත් හොරෙන් මේ දිනවල එවමින් පවතී. එබැවින් අපගේ අවධානය යොමු විය යුතු කරුණක් මෙහි අන්තර්ගත කර ඔබ‍ගේ අවධානයට පාත්‍ර කරන්නට මම තීරණය කෙළෙමි.
                පසුගියදා මම කොළඹ පිටකොටුව වීදි ආශ්‍රයේ ඇවිදිමින් සිටියෙමි. ජීවිතයේ තවත් දවසක් ගැන සැකයෙන් සිටින්නාවූ මිනිසුන් තම අද දිනය පණ පිටින් සිටින්නට ගන්නාවූ වෙහෙස, උපාය ගැන සිතට එන්නට ඒ ඇවිද්ද පය හොඳින්ම ප්‍රමාණවත් විය.
                තවත් දිනෙක මීගමුව නගරයේ සිට නිවෙස බලා එන අතරමගදී දුටුවේ මාර්ගයේ වටරවුම මත මහ දවාලේ නිදා සිටින කාන්තාවකි. (සමහර විට මෙය මීගමුව ප්‍රදේශවාසීන්ගේ නිතර දකින සුදු කරමලක් විය හැක.) එහෙත් රැහැයියෙක්ගේ හඬින් පවා නින්ද කඩාගන්නාවූ අපිත්, එසේ මහපාර මැද දහසක් වාහන එන්ජින් නළා හඬ මැද පවා නිද්‍රාගතව සිටින ඒ කාන්තාවත් දෙවිපියාණන් වහන්සේගේම දරුවෝ නොවෙත්ද?
                ලියමනට අදාළ වන්නටනම් කොහෙත්ම සිත එකඟ නොවේ. දැන් සිතේ සිරවූ අදහස් පෑන් තුඩ අසල ඇති කරන්නාවූ පීඩනය මා හට හොඳින්ම දැනේ.
අමුතුම ආකාරයේ බාර පිළිබඳව විස්තර මම අසා ඇත්තෙමි. ඒවාට උදව් කරන්නටද මම ගොස් ඇත්තෙමි. මේ අය ආදර දෙවිපියාණන්ගෙන් ඉල්ලන්නේ කුමක්දැයි නම් මම නොදනිමි. සමහරවිට මහ රෑ නිදන්නට නොදී බුරන බල්ලෙකුගෙන් තමාව බේරා ගැනීමට කරන ආයාචනයක් විය හැකිය. මන්ද එය ඉටුවුවහොත් දේවස්ථානයේ මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙයේ අවසානය මුළුමහත් පෘථිවිය නම්වූ ධරණී තලයම දෙදරවන්නට තරම් රතිඤ්ඤාවලින් සරසවන හෙයිනි.
ඉටිපන්දම් තරඟය තවත් රසවත් බාර ක්‍රමයෙකි. තමන්ගේ උසට හොඳින්ම ඉටිපන්දම් සෑදීමට ඇති හැකියාවද දේවස්ථාන වලදී දෙවිපියාණෝ මැන බලන සේක. මේ අයගේ ජයග්‍රාහිකයින් ලෝකාවසාන දිනදී තම ත්‍යාග සහ සහතිකපත් ලබාගනු ඇත. තවද අප සැමගේ ආදර දේවමාතා‍වන් වහන්සේද තමන්වහන්සේගේ සියළු හැකියාවන් මුද්‍රණය කළ කොළ පිටපත් කීයක් ජනතාව අතරේ බෙදා දුන්නේදැයි සොයා බැලීමට සෑම සතියකටම වරක් දේවස්ථානය වෙත වැඩම කරන සේක. වැඩියෙන්ම කොළ බෙදාදුන් අය සොයා බලා උන්වහන්සේ ඒ අය වෙනුවෙන් පමණක් දෙවිපියාණන් හමුවේ යාච්ඤා කරන සේක.
අනේ මාගේ සෙනඟෙනි, තට මම කුමක් කලෙම්ද? කුමකින් තට මම පීඩා කලෙම්ද? මට උත්තර දෙව..! සැබවින්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසේ අසත්දැයි අපි කෙසේ නම් දනිමුද? අන්ධයෙක් වූ මම දැන් එළිය දකිමින් සිටිමි. නැතිනම් අන්ධයෙක්ට පාර පෙන්වන්නට මට හැකිවන්නේ කෙසේද? අඩුම තරමේ මම දකිමින් සිටින්නාවූ එළිය ගැනවත් මම මෙතැන දක්වමි. කිසිදිනෙක මෙවන් අර්ථශුන්‍ය ක්‍රියාවක් මා අතින් නම් සිදු නොවන බව මම ඒකාන්තයෙන්ම දනිමි.
දැන්වත් මේ මිථ්‍යාවන්ගෙන් මිදෙන්නට අපි සූදානම් වෙමුද මා ප්‍රියාදර ලක්වැසි කතෝලික ජනතාවෙනි...? ඇස් විවර කොට සැම දෙය දෙසම බලන්න, අපේම පල්ලියේ මංගල්‍යය ආත්මාර්ථය පෙරටුකොට ගෙන පැවැත්වූ ආකාරය, හැකියාව තිබියදීත් උදව් අවැසිවූ තැනින් අපේ ඇස් අහකට හරවාගත් ආකාරය, මෙලොවට හෝ පරලොවටවත් සෙතක් නොවන්නාවූ පටු දෙයින් ‍දෙවියන් වහන්සේ පරික්ෂා කිරීමට ගත් උත්සාහය, ඇඳුමක් පැළඳුමක් නොමැති නිසා පමණක්ම අනභිබවනීය වූ දිව්‍යපූජාව මඟහැරි අයුරු.
බඩු බාහිරාදියේ මිළ අහසට ළඟා වූවායැයි සිතමු. (සිතන්නට නම් අවශ්‍ය නොවිය හැක.). මිනිසුන්ට එදා පැවති කුසගින්න නොදැනේද? බඩු මිළ බොහෝම වැඩියැයි සිතා ආහාර අනුභවය විකල්ප පැලැස්තරයකින් වසා ගන්නට හැකිද? කෙතරම් වුවද එය මිළදී ගැනීමට අපව මෙහෙයවන්නා සේය, අපි සැවොම වෙනදා මෙන් නැතත් කෙසේ හෝ යමක් මිළදී ගන්නවා නොවේද?
එසේමය, අවශ්‍යතාවය ඇති තැන, වෙසෙසින්ම අවැසිතාවය වැඩි තැනක පවතින කොන්දේසි බොහෝම බල රහිතය. ධර්මය වෙත අද සිදුව ඇත්තේද ඒ දෙයය. මෙතැනින් නම් කතාව පාරවල් දෙකකට යාම නවත්වන්නට නොහැකිය. ආහාරයේ අවැසිතාවය දහම තුලින් පිරිමසාගැනීමේ තැත නොහොත් සරලම භාෂාවෙන් නම් ආගම විකුණාගෙන කෑම එකකි. සුව මෙහෙය කොතැනද කොන්ත කඩයක් කොනකින් ඇරඹේ. මංගල්‍යය ලංවූවිට තරුණ සමිතිය රැස්වන්නේ මංගල්‍යයේ පූජාව සංවිධානය කරන්නටද..?, අනේ නැත, මංගල්‍යය දින පවත්වන ආහාර අලෙවිසැලේ සංවිධාන කටයුතු සඳහාය. විකුණාගත නොහැකි ඕනෑම භාණ්ඩයක් විකුණාගැනීමට මා සතුව අගනා අදහසක් ඇත. කළ යුතු වන්නේ එහි දේවමාතාවන්ගේ හෝ කුරුසියක හෝ ස්ටිකරයක් ගසා සිද්ධස්ථානයක මංගල්‍යය දිනෙක එළිමහණේ තබාගෙන සිටීම පමණි. කෑගැසීම‍ට හෝ අවශ්‍ය වන්නේම නැත.
 අනෙක නම් නිර්මලත්වය ආධ්‍යාත්මිකත්වය වෙතට ලෞකිකත්වය ඈඳීම නොහොත් තමන්හට ආගමක ඇති අවැසිතාවය නවීනත්වයට පත්කිරීමයි, මෙවන් අවස්ථාවලදී මාසයක් පුරාවට සිනහවිය හැකි තැන් සුලබ ය! කතරගම ඇතාගේ යටින් රිංගා සියළු ‍රෝග නිවාරණය වේවා යැයි පතන අය දිහා බලමින් අපගේ සැදැහැවත් කතෝලිකයින් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාව යටින් රිංගති. ගල්ගමුවේ භාග්‍යවන්ත ජුසේවාස් තුමන් ගිමන් හැරි ගසට තවමත් ගසෙහි හටගත් පොත්තක් මාසයක් තබාගැනීමට හැකිවී නොමැත. ඒ පොතු හටගත් විගසම දේවාශිර්වාදයේ ලේබලය ගසා ගසින් රැහැගනු ලබයි, ඉන්පසුව අපේ බහුතරයක් ආච්චි අම්මලා‍‍ගේ මළු තුලට හෝ සුරුවම් කූඩු වලට වී සිය ඉතිරි කාලය ගෙවන්නට ඒ පොතුවලට සිදුවේ. පාතිමා නුවර දිය උල්පතින් ගෙනා ජල බඳුනක් වෙනුවෙන් ආගම පවා  පාවාදීමට අපගේ සැදැහැවතුන් සූදානම්ය. මෙවන්වූ භෞතික වස්තූන් ආගම ලෙසින් මැනීම බොහෝම සරු ලෙසින් අද වන විට සිදුවෙමින් පවතී.
මෙවන් ආකාරයට හෑල්ලු කරන්නට තරම් මේ ආගම වසර දෙදහසක් මුළුල්ලේ කුමට පැවතියාදැයි මට සිතේ. සැබවින්ම ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ මතින් මෙතරම් දුරක් පැමිණියේ මේ දෙය සිදුවීමට යන්න දන්නේනම් ඔවුන්හට මැරෙන්නට නොදී සිටීමට තිබිණි. ගෙදරට එන හිඟන්නා එළවාගන්නා අපේම සැදැහැවතුන් සමහර දෙනෙක් දිනපතාම ශුද්ධවූ පැය කිරීමට අමතක නොකරති. චතාරිකයද සම්පූර්ණ විහිළුවක් කරගෙන සිටින අපගේ සැදැහැවතුන් දැන් චතාරික කාලය තුල සූදානම් වන්නේ සිත් හැරීමේ කාලයක් වෙනුවට මහ සිකුරාදා දින පෙන්වන්නට යන නාට්‍යයටය.
ඉරිදා දිව්‍ය පූජාවට පැමිණ ‘එක’ දා ගැනීමේ සිරිතක්ද මේ දිනවල ජයෙන් ජයටම කෙරීගෙන යයි. උදේ 7ට දිව්‍යපූජාවට පැමිණ 7.30 ටියුෂන් පංතිය වෙත යාම සඳහා 7.20ට නැඟිට යන සියළුදෙනාට දෙවිපියාණන්ගේ දිව්‍යපූජා රෙජිස්ටරයේ ‘එක’ දාගත් නිසා ලෝකාවසාන දින, නම්පොත බැලීමේදී කිසිදු ප්‍රශ්නයක් ඇතිවන්නේ නොමැත. මෙවන් අ‍ය 1000ක් ඉරිදා උදයක සොයා දීමට හැකියැයි කියා ඕනෑම කෙනෙකුට කිසිදු බියක් නොමැතිව ඔට්ටුවක් වුවද ඇල්ලීමට හැකිය. (උත්සාහ කර බලන්න). සැබවින්ම මෙය කියවන ඔබගේත් චර්යාව එසේනම් මින්පසු දිව්‍යපූජාවට නෑවිත්ම සිටියාට කම් නැත. ‘එක’ දා ගැනීමට පූජාව බාගයක් ඇසීම සැබවින්ම අවශ්‍ය වන්නේම නැත.
ලිපියේ ආරම්භයේදී කියූ ආකාරයට අපි සැවො‍ම මනුෂ්‍යයෝ වෙමු. එකිනෙකා කෙරෙහි එකිනෙකාට වගකීම් ඇත්තෝ වෙමු.එකිනෙකා කෙරෙහි එකිනෙකාගෙන් අවශ්‍යතා ඇත්තෝ වෙමු. බොරු බාරවීම් හෝ දෙවිපියාණන් වහන්සේව පරික්ෂා කිරීම් හෝ නවතන්නට නියමිත කාලය එළඹ ඇත. බොහෝ අර්ථවත් දේ ඒ හා ගැබ්වූ වටිනාකමත් සමඟම අපගේ අත ළඟම බලාසිටින්නාහ. මෙවන් මොහොතක මිථ්‍යාවන්ගෙන් ගැලවී ඒ දෙයට පණක් දීමට අපට කිසිදාක නොහැකි වන්නේ නම් නොමැත.
එද ඉශ්‍රායෙල් ජනතාව පවා දෙවිපියාණන් අතහැර වෙනත් දෙවිවරුන් පසුපස්සේ ගියහ. එහෙත් දෙවිපියාණන්ගේ කරුණාව නිසා ඇස් පාදාගත් ඔවුන් නැවතත් දේව සංරක්ෂණයට නතුවූහ. නව ගිවිසුමේ ජුදා ජනතාව දෙවියන්පියාණන් වහන්සේව මෝසස්ගේ නීතිය පමණක් කොට ගත්තද නැවත මුල් කිතුණු සභාවත් සමඟ අත්වැල් බැඳගෙන බොහෝදෙන නිසි මඟට පැමිණියහ.
අපි නැවත මනස්ථාපනයෙන් හැරී එනතෙක් අපගේම ආදර පියාණන් වහන්සේ බලා සිටින සේක. අප සතු සියල්ල ලබා අපි දැන් මෙලොව ඒ සියල්ල පාවිච්චි කරමින් නාස්ති කරමින් සතුටු වෙමින් සිටිමු.
මෙවන්වූ කිසිසේත්ම සාමාන්‍ය නොවන්නාවූ මාවතක යාම දැන්වත් අපි සැම දෙනාම එක්ව නැවැත්විය යුතු වෙමු.  සැම දෙනාම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැම දෙනාමය. මන්ද ඇත්තේ එකම ශරීරයකි. අපි සැවොම එහි කොටස්කාරයෝ වෙමු. නියපොත්තේ වේදනාව දවසක වැඩ නැවැත්වීමට හොඳටම ප්‍රමාණවත්ය. දතක වේදනාව සතියක වැඩ නැවැත්වීමට හොඳින්ම ප්‍රමාණවත්ය. මේ පරම ශුද්ධාත්මික ක්‍රිස්තු දේහය තුළ අපි එක එක්කෙනා තනි තනිව අසනීපව සිටිමු. අප අසනීප වී සිටිත් නම් ශු. සභාවටද ඉදිරි ගමනක් නොමැත්තේමය. අපි සුවය ලැබීමට කැමති නොවෙමු නම් කොතරම් සාත්තු කළද එයින් වැඩක් නොමැත. අපි සැමටම මෙනිසා මෙවන්වූ ලෞකික මිථ්‍යාවන්ගෙන් මිදීමට සිදුව ඇත. අපි සැවොම එකතුවී මේ අසනීපය සුව කර ගැනීමට උත්සාහ කළ යුතුව ඇත. සුවවීමට කැමති විය යුතුව ඇත. ඇත්තටම අපේ මේ ශරීරය දැන් බොහෝ අසනීපයෙනි. ඔබට එය දැනෙන්නේ නැතිද?

4 comments:

  1. I read this. It s kind of true. I too agree with that to a certain extent(but not fully ...OK? Any way good concept for a discussion. Thanks for the food for thought.

    ReplyDelete
  2. thank u brother, please tell me wt u not agree with

    ReplyDelete
  3. I meant I am still in middle path. I agree with several things. I personnaly know what I do and what I observe. But still I respect the way the other people act and observe their faith even though that is blind faith. Sometimes we have to r...effer to the tradition. Whatever the religion may be still they do some practices with their experiences. They value the history. Some times experience touches the faith. I know non of these r theological or biblical. But still the Church doesn't strongly condemn these. If I am an extreamist, ok then I can condemn. People light candles when they overcome something bad with the help of God. That's how they show their gratitude towards Him. 1 out of ten returned to Jesus n thanked Him. Jesus asked where r the rest (9)? were they not healed.? Even in Old testament God accepted animal sacrifices, smokes offered from people. I feel like lightning a candle can be very much pleseant to God. Some people are not strong enough towards their faith. So they depend on certain other things. If even a simple and a little thing can be an assistance to grow their faith what is the wrong with that. Faith cannot be scientifically proved no can be argued. We r Christians. We are a joyfull people. Our Lord s risen from death. We are victorious. Let Christians enjoy their life in the way they do with their simple faith. Majority of us are not highly, theologicaly educated. This is a modern and sofisticated world. People need forgiveness, they need a healer. they need a rest. The way they do is enough than doing nothing. How many kids are not going to the church even for a rain. So why do we critisice those who go to the Sunday mass even for half an hour. If a poor lady sells candles in the church premisses to make a living what is the wrong with that. If people sell rosaries on the feast day what a good thing is that. People start to recite the rosary. They become closer to Mother Mary. U are a good Christian because of ur parents simple faith. Therefore something does not harm any thing or any body I strongly love the simple faith of our Christians. I still respect ur views brother :)

    ReplyDelete